ආචාර්ය තිස්ස අබේසේකරයන් සභාපතීත්වය දරණ කාලයේ සිනමා නිර්මාණ කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළේ 2000 වසරේ දී පමණය.මේ සඳහා ප‍්‍රවීණ සිනමා නිර්මාණ කරුවන් මෙන්ම රූපවාහිනී උසස් නිර්මාණ කළ නිර්මාණ කරුවන් කිහිප දෙනෙකුටම මෙම ආධාර මුදල් ලබාදෙන ලදී.
ඒ අනුව සුදත් දේවප‍්‍රිය, සුදත් රෝහණ , මහාචාර්ය සුනිල් ආරියරත්න, ප‍්‍රියන්ත කොළඹගේ, ධර්මසිරි වික‍්‍රමරත්න, අමරණාත් ජයතිලක, පාලිත සිල්වා, සත්‍යජිත් මාඉටිපේ, එනෝකා සත්‍යාංගනී මෙන්ම මාලිනී ෆොන්සේකා සහ තවත් කිහිප දෙනෙකුටම මෙම ව්‍යාපෘතිය යටතේ ආධාර ලබාදී තිබිණ.
මේ වනවිට චිත‍්‍රපට සංස්ථා සභාපතිවරයා වන අශෝක සේරසිංහ මහතා, සුදත් දේවප‍්‍රිය, ප‍්‍රියන්ත කොළඹගේ සහ මහාචාර්ය සුනිල් ආරියරත්න යන සිනමා නිර්මාණ කරුවන්ට නඩු පැවරීමට අවශය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියි. මීට පෙර කුමාර් අබේසිංහ සංස්ථා සභාපති අවධියේද මෙවන් කතාබහක් ඇතිවුනද ඔහු එහි නීත්‍යානු කූල භාවයන් පිළිබඳව සළකා බලා එවන් නීති ක‍්‍රියා මාර්ග ගැනීමෙන් වැළකී සිටියේය.
මේ පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්නේ කරුණු විමසුවෙමු.
"මේ වනවිට මට ලිපියක් ලැබී තිබෙනවා, මම ජාතික චිත‍්‍රපට සංස්ථාවට රුපියල් එක්කෝටි ගණනාවක් ගෙවීමටනියමිත බව දන්වා. ඒ අනුව දින හතක් තුළ මේ සම්බන්ධව පිළිතුරක් නොඑව්වොත් අදාළ නීති මගින් කටයුතු කරන බව දන්වා තිබුණා".
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ තමා හිරේ යන්නට සූදානම් බවයි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් 2001 වසරේ 'සුදු සෙවනැළි' නිර්මාණය කරමින් නැවත සිනමාකරණයට ප‍්‍රවිශ්ට වුයේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ලක්‍ෂ 50 ආධාර ව්‍යාපෘතිය යටතේය.
එම 'සුදු සෙවනැළි' සිනමා නිර්මාණය ඓතිහාසික නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ දැවැන්ත සිනමා නිර්මාණයකි. 'සුදු සෙවනැළි' සිනමා නිර්මාණය සරසවිය සහ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ හොඳම සිනමා නිර්මාණය ඇතුළු සම්මාන රැසක් දිනාගනු ලැබීය.
එමෙන්ම සුදත් දේවප‍්‍රිය, ප‍්‍රියන්ත කොළඹගේ, ඉනෝකා සත්‍යාංගනී ආදී සිනමාකරුවන් සහ සිනමා කාරියන් කළ නිර්මාණ ද මෙරට මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද සම්මානයට පාත‍්‍ර විය. ( මෙය ශ්‍රී ලංකා මිරර් වෙබ් පුවතකි )