රන්මිහිතැන්නත් ඉන්දියාවට බදු දෙයි.. ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය සියල්ල රූගත කිරීම් කල් දමන්නැයි අමාත්‍යාංශ නියෝගයක්..

රන්මිහිතැන්න සිනමා ගම්මානයේ අත්හැර දැමූ
රුපියල් කෝටි ගණනක් වටිනා නගරය

රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ ඉදිරියේදී රූ ගත කිරීමට නියමිතව ඇති ඉන්දියානු සිනමා පටයකට අදාල පසුතල නිර්මාණය කිරීමට යැයි පවසමින් මේ දිනවල රූ ගත කිරීමට දින වෙන් කර තිබූ දේශීය ටෙලි නාට්‍ය ගණනාවක වෙන්කිරීම් සියල්ල අමාත්‍යාංශ ලේකම් වරයාගේ විශේෂ නියෝගයක් පරිදි අවලංගු කර ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය දෙසින් ආරංචි වේ.

රන්මිහිතැන්නේ ටෙලිනාට්‍ය රූ ගත කිරීමක්
ජනාධිපතිවරයා හා රන්මිහිතැන්න සමග සමීප සම්බන්ධතාවක් ඇති ජ්‍යෙෂ්ඨ සිනමා රංගන ශිල්පියෙකුට අයත් සමාගමක් මගින් රන්මිහිතැන්න සිනමා ගම්මානයේ තම චිත්‍රපටය රූ ගත කිරීම සදහා ඉන්දියානු සිනමා කරුවකුට සම්බන්ධීකරණය ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේදී එම ඉනදියානු ශිල්පීන් එහි පැමිණීමට නියමිතව ඇති අතර, එයට අදාල පසුතල නගරයක් ඉදිකිරීම සදහා රන්මිහිතැන්න සිනමා ගම්මානයේ විශාල පෙදෙසක් ඩෝසර් කරමින් එළි පෙහෙළි කරන්නට පටන් ගෙන ඇත. මේ අතර කතාංග සිය ගණනක් එහි රූප ගතකරමින් තිබෙන ඇතැම් ටෙලිනාට්‍ය වල මීළග රූ ගත කිරීම් ද මේ දිනවල සූදානම් කර තිබුනි. සාමාන්යයෙන් ටෙලිනාට්‍ය රූ ගත කරන්නේ ඒ මොහොතේම හඞපටය පටිගත වන අයුරින් බැවින් ලී වලට ඇණ ගැසීම්, ඩෝසර් කිරීම් ආදිය බලපාන්නේ ටෙලිනාට්‍ය පටිගත කිරීමට අවහිරයක් ලෙසය. නමුත් පෙර කී නලුවා අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ ටෙලි නාට්‍ය රූ ගත කිරීම් ඉන්දියානු පසු තල සෑදීමට බාධාවක් බවය.  


විය යුතුව තිබුනේ පසුතල සෑදීම දින කිහිපයකට අත්හිටුවා, අදාල ටෙලිනාට්‍ය රූ ගත කිරීමට අවස්ථාව සලසා දීමය. එහෙත් ජනමාධ්‍ය ලේකම්වරයා නියෝග කර ඇත්තේ කම්කරුවන්ගේ ඇණ ගැසීම් වලට පහසුව සලසා නලු නිලියන්ගේ රූ ගත කිරීම් වහාම කල් දැමීමටය. තවත් ටෙලිනාට්‍ය වල රගපාන නලු නිලියන් රැසක් එම නිෂ්පාදක වරුන්ගෙන් අදාල දින ලබාගෙන රන්මිහිතැන්න රූ ගත කිරීම් වලට තම දින වෙන් කර දී තිබූ අතර, ඉහලින් ආ මෙම නියෝගය නිසා එම ශිල්පීන්ට අල්ලපු අත්තත්, පයගැසූ අත්තත් දෙකම නැතිවී අවුරුදු නැකතින් පසු හුලං බිබී උඩ බලාගෙන සිටීමට සිදුවී ඇත.

මෙවර ඉන්දියානු සිනමා පටයට පසුතල සෑදීමේ සම්බන්ධීකරණය කරන නලුවා මීට පෙර රන්මිහිතැන්න ආරම්භයේදීම ජර්මන් සිනමා පටයක් සදහා නගරයක පසුතලයක් මහජන මුදලින් රුපියල් කෝටි ගණනක් වැයකොට තනා දී ජර්මනුන්ගෙන් කෝටි ගණනක මුදලක් සාක්කුවේ දමා ගත් වංචාකරුවෙකු යැයි දන්නෝ පවසති. එම නගරයේ ගොඩනැගිලි සියල්ල රන්මිහිතැන්නේ අද දිරාපත්ව ගොස් ඇත.